Monday, July 2, 2012

විසිරුණු සුළං I

                    අලු පාටින් වැසුන අහස දෙස ජනේලයේ කූරු අතුරින් බලා සිට හෙම්බත් වූ මාගේ ඇස් වලට අහස මුඩුබිමක් සේ දිස්වීම වලක්වාගත නොහැකිවිය. සියල්ල එපාවූ දෑසින් අහසෙන් ඇස් අහකට ගත් විට ඉදිරියේ වූයේ ගැබ්බර වූ එළදෙනෙකු සේ මහත්වූ කෙසෙල් ගසකි. කෙසෙල් කොලයක් දිගේ වතුර බිඳුවක් බේරී වැටෙනුයේ තමුන් අකමැත්තෙන් සිටි තැනෙක සිට ලිස්සා යන ආ‍ඳෙකු සේය. වැස්ස තුරන් වූවද වැහි බින්දු මුසුවී මුහුණට වදින සුලඟින් ලැබෙන සිසිල කියා නිමකල නොහැක. 

                   "දඩාස්". එකවරම බියවූ මා පි‍ටුපසට පැන්නෙමි. මේසය උඩ තබා තිබූ තේ කෝප්පය එකවරම බිමට ඉහිරුණේය. එක්වරම ආ කුණා‍ටු සුලඟට වහවැටී යන්නාක් මෙන් එක්වරම වැසුණු ජනේලය නිසා මාගේ උදෑසන තේ කෝප්පයද අහවරය. කාටහෝ මේ වැ‍රැද්ද පටවා ඇඟබේරාගැනීමට හැකි නම් එසේ කර සිටීමට තරම් මට වස කම්මැලිය. ඒත් සුලඟට වැ‍රැද්ද පැටවූවොත් කවදා හෝ ඒ සුලඟම තමා වෙතට එනු ඇතැයි බියෙන් මා කට වහගෙන කෝප්පයේ කෑලි එකතු කිරීමට පටන් ගත්තේය.

                   "ඒ කෝප්පෙත් ඉවරයි නේද? ". අම්මාගෙ කටහඬ අහන්න ලැබුනේ නොසිතූ විරූ ලෙසය. කාටත් හොරෙන් කෝප්පය අස් කර දමා සිටීමට සිටි මා දැන් බැනුම් අහලා ඉවරයක් නැතිය. කාමරයට ඔලුව දැමූ අම්මා කෝප්පයක් උදෙසා මාගේ කනේ කලාඳුරු එලියට පනින්නට මෙන් බැන්නේය. "හරි හරි. දැන් කෝප්පෙ කැඩිල ඉවරයිනෙ. අම්ම දැන් යන්නකො." මා කොහොම හරි අන්තිමට ඇඟ බේරාගත්තෙය.

                   මූහුණකට සෝදාගත් මා ඇඳුමක් ඇඟලාගත්තේ වැඩට යන්නටය. උදේට කන්න තිබ්බේ බත්ය. පරිප්පු, සම්බෝල සමග කරවල බැදුමක්ද තිබ්බේය. කන්නට ආස වූවත් කන්නට කිසිදු පිරියක් නැත. බත් කටවල් දෙකක් කා වතුර බී එලියට බහින්නට සූදානම් විය. කිසිදා ඔරලෝසුවක් බැඳීමට කැමති නැති මා නැවත හැරී බිත්තියේ ඔරලෝසුව දෙස බැලුවෙමි. 

                   වෙලාව හත හමාරය. වැඩට යන්නට පැය භාගයක් තිබේ. ඔපීසියට යන්නට යන්නේ විනාඩි දහයකි. කලින් ගියාට කමක් නැතෙයි කියා මා එලියට බැස්සේ අම්මාගේ පෙ‍රැත්තත් මුල්කොටගෙනය. ගේට්‍ටුවෙන් එලියට බහිනකොටම හම්බවුනේ සුමණසේකර ආච්චී ය. 

                   "වැඩට යනවද පුතේ". කට පුරවා සිනාසී ඇය සෙමින් තෙපලීය. දවස් දෙක තුනකින් මැද නැති දත් දෙපල අතරමැද්දෙන් උදේට පොල් සම්බෝල කෑව බව පවා මට කිව හැකි විය. නමුදු ඇගේ අහිංසක අව්‍යාජ සිනාව සහ කතාව ඒ සියල්ල පසුකර මාගේ හිතට දුවගියේය. කිසිවක් කීමට සිතුවද සිතා අවසන් වන විට ඇය මා පසුකර ගොසින් ය. මා ද ඈ හා සිනාසී පාර දෙසට පියමැන්නේ ඒ රස්සාවට යන දෙවන දිනය අද බැවිණි. පලමු දිනයේ තිබූ තැතිගැන්ම අද වනවිට පහව ගොසින්ය. මගට යනවිට හමුවූ ආනන්ද අයියා මා ඔහුගේ ත්‍රීරෝද රථයේ නංවාගෙන ටවුමෙන් දමා ගියේය. දැන් නම් කොහොමත් වේලාසන වැඩිය. කමක් නැතැයි කියා මා සෙමින් සෙමින් ඔපීසියට දෙසට පියමැන්නෙමි. 

                   පාරේ යන්නෙකු ඇතැම් විට සිතන්නට ඇත්තේ මොලේ අමාරුකාරයෙක් කියා වෙන්නට ඇතිය. පොඩි ලමයෙක් මගෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩකරනවාදැයි ඇසුවේ නැතුවා පුදුමය. ඒ මා පාරේ ගියේ පියවර මනින්නාක් මෙන් නිසාය. 

                   "කලින් ගියා කියල පඩි අඩුවෙනවායැ." යටි හිත මට තෙපලන්නට ගත්තේය. ඒ අනුව අඩිය ඉක්මන් කොට මා ඔපීසියට ගියෙමි. මට අද දවසේ ඉදිරිය කොහොම එකක් වේදැයි කිසිදු අදහසක් නොමැත. එහෙත් අද මහ අමුතු දවසකැයි උදෑසනම හිතට දැනුනි. හැඟීම් වලට ඉඩදී ජීවත් වීම ලේසි කාරණාවක් නිසා ඒ සියලු හැඟීම් වලට ඉඩදී මා තරප්පු පෙල තරණය කොට ඔපීසියට ඇතුල් වීමි.

6 comments:

  1. nice work bro I'll deffa catch up with your this story <D

    ReplyDelete
  2. ඉතින් ඊට පස්සෙ බොරලු අයියෙ?

    ReplyDelete
    Replies
    1. ඉතිං ඊට පස්සෙ කෑල්ල දැම්ම

      Delete
  3. එල ටඩිආ ඔහොම ඩිගටම ඩාපං ඩෝ..

    ReplyDelete